Wednesday 1st of July 2026

English Tamil
Advertiesment


එල්නීනෝ ප්‍රධාන වශයෙන් ක්ෂේත්‍ර 03කට බලපෑම් සිදු කරනවා. ඒ නිසා අපි දැඩි අවධානයෙන් සිටිය යුතුයි


2026-07-01 1238

 

 - විපක්ෂ නායක - 

 

එල්නීනෝ ලානීනා තත්ත්වයේ බලපෑම ප්‍රධාන ක්ෂේත්‍ර 03කට සහ ප්‍රතිපත්ති මාලා 03කට බලපාන බවත් ඒ අතර මූල්‍ය ප්‍රතිපත්තිය, මුදල් ප්‍රතිපත්තිය සහ කෘෂිකාර්මික ප්‍රතිපත්තියට දැවැන්ත බලපෑමක් සිදු කරන බවත් එහි දී මහබැංකුවට මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳවත් භාණ්ඩාගාරයට මුදල් ප්‍රතිපත්තිය සහ කෘෂිකර්ම අමාත්‍යාංශයට සහ ඒ අදාල දෙපාර්තමේන්තුවට කෘෂිකර්ම ප්‍රතිපත්තිය ගැනත් අවධානයෙන් සිටිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය අමතමිනි.මේ අවස්ථාවට මහබැංකුව, මහා භාණ්ඩාගාරය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් රැසක් ඇතුළු විශේෂඥයන් රැසක් එක්විය.

 

ජාතික කෘෂිකර්ම හා ජල කළමනාකරණ සැලසුමක් කරා යා යුතුයි

 

මධ්‍යම ආණ්ඩුව සතු ආයතන සේම පළාත් සභා සතු ආයතන විශාල ප්‍රමාණයක් සේම මේ යටතේ විශාල නිලධාරී මණ්ඩලයක් පවා සිටින බවත් එම නිසා මධ්‍යම ආණ්ඩුව සහ පළාත් ආණ්ඩුව අතර ඒකාබද්ධ වී මේ ඵලදායිතාව වර්ධනය කරමින් මේ සඳහා මුහුණ දිය යුතු බවත් එන්න එන්නම කෘෂිකර්මාන්තයේ දායකත්වය පිරිහෙමින් පවතින නිසා මේ ආයතන සියල්ල එකට සම්බන්ධ කර ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් කරා යා යුතු බවත් මහවැලි ප්‍රදේශ, විශාල ජලාශ්‍ර හා කුඩා ජලාශ්‍ර ඒකාබද්ධ කර ජාතික ජල කළමනාකරණ සැලසුමක් කරා යා යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 

එල්නීනෝ නිසා අප රටේ සංචිතවලට වන බලපෑම් ගැනත් තක්සේරුවක් කළ යුතුයි

 

එසේම මහ බැංකුව මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා යනු සමාජයේ ඇති මුදල් සැපයුම පාලනය කිරීමත් පොලි අනුපාත කළමනාකරණය කිරීම මෙන්ම විනිමය අනුපාත ස්ථායීකරණය කිරිම බවත් මේ ප්‍රතිපත්ති මාලා තුළ එල්නීනෝ ලානීනා තත්ත්වය අප රටට බලපෑමක් සිදු නොවුවත් වෙනත් රටවලට බලපෑමක් සිදුවී ඒ යටතේ වක්‍ර බලපෑමක් ද අප රටට සිදුවිය හැකි බැවින් ඒ සිදුවන බලපෑම ආදිය සම්බන්ධයෙන් පර්යේෂණයක් සිදුවිය යුතු බවත් ආහාර, තෙල්, ගෑස් ආදියේ පසුගිය කාලයේ සේ මිල වැඩි වුවහොත් අපේ සංචිතවලට සිදුවන බලපෑම සම්බන්ධයෙන් ද අප ඇගයීමක් සිදු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

 

ආපදාවලදී මූල්‍ය ආධාර ලබා ගැනීමේදී Re-purpose fund ගැන දෙවරක් සිතිය යුතුයි

 

දිට්වා වැනි ඛේදවාචකයක් මේ තුළින් නිර්මාණය වුවහොත් ඒවාට විසදුම් ලබා දෙන්නට මූල්‍ය ශක්තිය ලබා ගන්න මූල්‍ය ක්‍රමවේද ගණනාවක් ඇති නමුත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන අනුගමනය කරන ප්‍රතිපත්තිවල දුබලතා රැසක් ඇති බවත් පවතින සංවර්ධන වැඩසටහනක ඉතිරි මුදල් හදිසි අවශ්‍යතා ලෙස යොදා ගැනීම නිසා එතෙක් කර ගෙන ආ ව්‍යාපෘති අඩපණ වන බවත් එම නිසා මෙසේ හදිසි අවශ්‍යතා ලෙස පවතින ව්‍යාපෘතිවලින් මුදල් ගන්නේ නම් ඒ මුදල් නැවත වරක් පියවිය යුතු බවත් ඒ ගැන සාකච්ඡා කර මූල්‍ය ආයතන සමඟ එකඟතාවලට යා යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී යෝජනා කළේය.

 

ආපදාවක දී අපි ලබා ගත යුත්තේ ආධාර මිස ණය නොවේ

 

එසේම ආපදාවක් යනු ඛේදවාචකයක් නිසා ඛේදවාචකයක් තුළ දී ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ලබා ගත යුත්තේ ආධාර මිස ණය නොවන බවත් ඒ සම්බන්ධයෙන් ද ඉදිරියේ දී අවධානය යොමු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

 

දිට්වා නිසා සිදුවූ පරිසර හානිය ගැන මූල්‍ය තක්සේරුවක් සිදු කරන්න

 

එසේම දිට්වා නිසා සිදු වූ සාර්ව ලෙස බලන මූල්‍ය තත්ත්වය ගණනය කිරීමේ දී පාරිසරික හානිය ගණනය කර නොමැති බවත් පරිසර අමාත්‍යාංශය සමග සාකච්ඡා කර වනජීවී වෘක්ෂලතාවලට සිදුවන හානිය ගැන ගණනය කිරීම අතිශය වැදගත් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී යෝජනා කළේය.

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment